සුනඛයන්ට බඩ යාම ඇති වීමට හේතු (Diarrhea in dogs)

ඔබ සුනඛයන් ඇති කරන්නෙකු නම් ජීවිතේ එක් වරක් හෝ සුනඛයාට උදරාබාධයක් ඇති වුණු අවස්තාවක් දකින්නට ලැබී ඇති. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් මේ උදරාබාධ ගැන සුළුවෙන් තකන බව අපිට දකින්න ලැබෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම සුනඛයන්ට බඩ යාමේ තත්වයක් ඇති වීම සරල හේතු වල සිට වඩාත් සංකීර්ණ හේතු දක්වා කරුණු ගණනාවක් නිසා විය හැකියි. එබැවින් මේ ලිපිය හොඳ අවබෝධයෙන් යුතුව කියවීම තුලින් මේ පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඔබට හැකි වනු ඇති.



බඩ යාම යනු සත්‍ය වශයෙන්ම රෝගයකටත් වඩා "රෝග ලක්ෂණයකි". එනම් ශරීර අභ්‍යන්තරයේ ඇති යම් සංකීර්ණ ගැටළුවක් නිසා බාහිරට පෙනෙන ලක්ෂණයක් වශයෙන් බඩ යාමේ තත්වයක් මතු විය හැක. ඇතැම් විට ඔබ යන්තමින් හෝ නොසිතන හේතුවක් නිසා මෙසේ බඩ යාමේ තත්වයක් ඇති වන්නට පුළුවන්. ඒ හේතු ගැන අවබෝධයෙන් සිටීම තුලින් වඩාත් පහසුවෙන් තත්වය සුව කරගැනීමට හැකි වේවි. දැන් අපි විස්තර කරන්නම් මෙසේ බඩ යාමේ තත්වයන් සුනඛයන්ට ඇති වීමට බලපෑ හැකි විවිධ හේතූන්. (මෙහි ඇතැම් කරුණු ඔබ මීට පෙර යන්තමින් වත් නොදැන සිටි ඒවා විය හැකියි).

 

1. සුනඛයා විසින් අපිරිසිදු යමක් ආහාරයට ගැනීම නිසා:

සාමාන්‍යයෙන් මිනිසුන්ට වඩා සුනඛයන්ගේ ආහාර මාර්ගය ශක්තිමත්. ඒ නිසා අපිට වගේ පහසුවෙන් ඔවුන්ට මෙසේ අපිරිසිදු යමක් කෑ පමණින් බඩේ අමාරු නොසැදෙන්න පුළුවන්. නමුත් ඇතැම් අවස්ථා වල ඔවුන්ගේ ආමාශයට වුවද ඔරොත්තු නොදෙන විෂබීජ අඩංගු ද්‍රව්‍යයක් හෝ නරක් වූ ආහාරයක් ගැනීම නිසා බඩ යාමේ තත්වයක් ඇති වෙන්න පුළුවන්. එසේම ඇතැම් විට දිරවීමට නොහැකි ප්ලාස්ටික් කැබලි, පොලිතින් වැනි ද්‍රව්‍ය ගිල දැමීමක් වුවහොත් එමගින් ආහාර මාර්ගය අවහිර වීම මගින් ඇතැම් විට බඩ යාමේ තත්වයක් ඇති විය හැකි බව පැවසෙනවා.

2. ආහාර අසාත්මික වීම (Food Allergies):

මිනිසුන්ට මෙන්ම සතුන්ට ද ඇතැම් ආහාර අසාත්මික විය හැකියි. මේ අසාත්මිකතා සුනඛයාගෙන් සුනඛයාට වෙනස් විය හැකිය. එනම් එක් සුනඛයෙක්ට යම් ආහාරයක් අසාත්මික වූ පමණින් අනිත් සුනඛයන්ට ද එසේ ම විය හැකි යයි කිව නොහැක. නමුත් ඔබේ සුනඛයාට නිතර ඇතිවන බඩ යාමේ තත්වයක් තිබේ නම් සුනඛයාට දෙන ආහාර පිළිබඳව සැලකිලිමත් වන්න. ඌරු මස්, හරක් මස්, සෝයා, තිරිඟු නිෂ්පාදන, බඩඉරිඟු හෝ පිටි ආශ්‍රිත නිෂ්පාදන, සහ ඇතැම් වර්ණක හෝ රසකාරක අඩංගු ආහාර, ආදිය මෙසේ බොහොමයක් සුනඛයන්ට අසාත්මික වීමේ ඉඩකඩ ඇති බව සැලකෙනවා. නමුත් නැවත වරක් කිව යුතුයි. අසාත්මිකතාව යනු එක් එක් සුනඛයාට අනන්‍ය විය හැකි ලක්ෂණයක් මිස පොදුවේ සෑම සුනඛයෙක්ටම ඇතිවන ගැටළුවක් නොවේ. එබැවින් ඔබේ සුනඛයාට යම් ආහාරයක් අසාත්මික නම් එම ආහාරය ලබා දීමෙන් වැළකී සිටීම සුදුසුයි. ඒ පිළිබඳව පශුවෛද්‍යවරයාගේ උපදෙස් වැඩිදුර ලබාගන්න.

3. පමණට වඩා අධික පෝෂණයක් ඇති සුනඛ ආහාර:

විශේෂයෙන් මේ ගැටලුව බලපාන්නේ සැකසූ ආහාර (Dogfood වර්ග) ලබාදීමේ දී ය. එක් එක් සුනඛයාගේ ආහාර ජීරණ හැකියාව එකිනෙකට වෙනස්. එසේම සුනඛයාගේ වයස අනුවත් මෙසේ ආහාර ජීරණය කිරීමේ හැකියාව අඩු වැඩි විය හැකියි. සමහර Dogfood වර්ග ඔබේ සුනඛයාට දිරවීමට අපහසු වුවද, තවත් සුනඛයෙක්ට එම වර්ගයේ කිසිම ගැටළුවක් නොමැති විය හැක. එය Dogfood එකේ වරදක් නොව සුනඛයාගේ ජීරණ හැකියාව මත තීරණය වන්නක් බවයි සැලකෙන්නේ. එබැවින් යම් Dogfood වර්ගයක් සුනඛයාට දිරවීමට අපහසු බව පෙනේ නම් වර්ගය වෙනස් කර බැලීමෙන් බොහෝ විට ගැටලුව නිරාකරණය වෙන බව අපට දකින්න ලැබෙනවා.

එසේම සාමාන්‍යයෙන් ඕනෑම Dog Food වර්ගයක Adult food සහ Puppy food ලෙස කාණ්ඩ දෙකක් පවතී. මෙම Puppy food එක කුඩා පැටවුන්ට ලබා දීම වෙනුවෙන්ම සකසන අතර එහි ඇති පෝෂ්‍යගුණය තරමක් ඉහලය. Adult food සකසා ඇත්තේ වැඩිහිටි සුනඛයන්ට ගැලපෙන පරිදිය. අපි පුද්ගලිකවම ද දන්නා කරුණක් නම් ඇතැම් වැඩිහිටි සහ විශේෂයෙන් මහලු වියට බර සුනඛයන්ට Puppy food එක ලබා දුන් විට දිරවීමේ අපහසුතා ඇති වී බඩ යාමේ ලක්ෂණ පෙන්නුම් කරන බවයි. (මෙය ද සෑම සුනඛයෙක්ට ම පොදු නොවන බව මතකතබාගන්න). එබැවින් මේ කරුණු පිලිබඳව ද දැනුවත් වී සිටීම තුලින් එවැනි තත්වයක් දැයි සැක හැර දැනගැනීමට ඔබට හැකි වනු ඇති.

Dogfood පමණක් නොව. ඇතැම් විට අධික මේද ප්‍රමාණයක් ඇති ඌරු මස් වැනි දෙයක් දිරවීමට අපහසු සුනඛයන්ට වුවද කුකුල් මස් ලබා දීමේ දී ගැටළුවක් නොමැති බව දැකගන්න පුළුවන්. එබැවින් ඒ කරුණු පශුවෛද්‍ය උපදෙස් මත අත්හදාබැලීම තුලින් ඔබේ සුනඛයාගේ ජීරණ පද්ධතිය ගැන හරියාකාර අවබෝධයක් ලබාගන්න.

4. සුපුරුදු ආහාර වර්ග ක්ෂණිකව වෙනස් කිරීම:

සාමාන්‍යයෙන් සුනඛයන් බොහෝ දෙනෙක්ට (විශේෂයෙන් කුඩා පැටවුන්ට) මේ හේතුව නිසා ක්ෂණික උදරාබාධ ඇති වන අවස්ථා දක්නට ලැබෙනවා. එනම් කලක් තිස්සේ සුනඛයාගේ ආමාශයට හුරු වුණු ආහාර රටාව එකවර වෙනස් වීම බොහෝ සුනඛයන්ට ජීරණ අපහසුතා ඇතිවී බඩ බුරුල් කරවීමට හේතු වෙනවා. විශේෂයෙන් අලුත උපන් සුනඛ පැටවුන්ට මව් කිරි අත්හැර ඝන ආහාර පුරුදු කරවන සමයේ දී (සති 4 වැනි වයසේ දී) මෙසේ නිතර මලපහ බුරුලට යාම දක්නට ලැබෙනවා.
වැඩිහිටි සුනඛයන්ට වුවද විශේෂයෙන් එක් Dogfood වර්ගයකින් තවත් වර්ගයකට මාරු වීමේ දී මෙම ලක්ෂණ ඇති වීමේ ඉඩකඩක් තිබෙනවා.
මෙවැනි තත්ත්ව බොහෝ විට කාලයත් සමඟ සුව වන නමුත්, මෙසේ ආහාර වර්ග මාරු කිරීම ක්‍රමානුකූලව කල හැකි නම් බොහෝ දුරට මේ ගැටලුව අවම කරගත හැකියි.

එනම් උදාහරණයක් වශයෙන් සුනඛයාට අලුත් dogfood වර්ගයක් හඳුන්වා දීමේ දී පරණ dogfood වර්ගය ඉවර වීමට පෙර අලුත් වර්ගය ලබාගෙන, ඒ වර්ග දෙක ටිකෙන් ටික මිශ්‍ර කරමින් සුනඛයාට ලබා දෙන්න. දින කීපයක් ඇතුලත මෙසේ අලුත් වර්ගයේ ප්‍රමාණය වැඩි කරමින් සම්පූර්ණයෙන්ම අලුත් Dogfood වර්ගයට මාරු විය හැකියි. මෙසේ ක්‍රමානුකූලව මෙය සිදු කිරීම තුලින් බොහෝ විට ගැටළු ඇති වීම අවම බවයි දැකගන්න ලැබෙන්නේ. (එසේ වුවද ඉහත 3 හි සඳහන් කල කරුණ ගැන ද නැවත අවධානය යොමු කරන්න).

5. පණු රෝග:

ඇතැම් විට පණු රෝග අධිකව පවතින අවස්ථා වලදී ද සුනඛයන්ට බඩ යාමේ තත්වයන් ඇති වන්න පුළුවන්. විශේෂයෙන් මෙහිදී බොහෝ විට මලපහ සමඟ රුධිරය ස්වල්ප වශයෙන් පිටවීම ද දැකිය හැකියි. එබැවින් නිසි වෙලාවට පනුබෙහෙත් ලබා දීමට වගබලාගන්න. යම් හේතුවක් මත එක් පනුබෙහෙත් වර්ගයකින් සම්පූර්ණ සුවයක් නොමැති නම්  වර්ගය මාරු කර බැලිය යුතු දැයි පශුවෛද්‍යවරයාගෙන් විමසා බැලීමට ඔබට පුළුවන්.

 

6. බැක්ටීරියා හෝ ඇමීබා ආසාදන:

බැක්ටීරියා ආසාදනයක් නිසා හෝ Ameba පරපෝෂිතයන් නිසා ඇතිවන අතීසාර තත්වයන් සුනඛයන්ට ද බලපෑ හැකි බව වාර්තා වෙනවා. බොහෝ විට අපිරිසිදු කානු හෝ පොදු කුණු දමන ස්ථාන ආශ්‍රිතව ජලය පානය කිරීමෙන් හෝ යම්කිසි ද්‍රව්‍යයක් ආහාරයට ගැනීමෙන් මෙවැනි තත්ත්ව ඇතිවීමේ ඉඩකඩ වැඩි බවයි සැලකෙන්නේ. මෙවැනි තත්වයන් සුනඛයාගේ ජීවිතයට වුවද හානිකර විය හැකි බැවින් ඉක්මනින් පශුවෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්. සාමාන්‍යයෙන් මලපහ සමඟ රුධිරය පිට වීම මෙහිදී ද ලක්ෂණයක් ලෙස දැකිය හැකියි. මලපහ හෝ රුධිර පරීක්ෂාවක් මගින් මෙවැනි තත්වයන් (විශේෂයෙන් Ameba ආසාදන) හඳුනාගත හැකියි.
 

7. Parvo Virus ආසාදනය:

Parvo රෝගය ගැන අපි මීට පෙරත් ඔබට විස්තර කල බව ඔබට මතක ඇති. සාමාන්‍යයෙන් පාවෝ රෝගය වැළඳුනු විට අධික දුර්ගන්ධයක් සහිත පාචනය ඇතිවීම දැකගන්න පුළුවන්. එසේම මලපහ වල රුධිරය තිබීම හෝ කළු පැහැති පාචනය ඇතිවීම සිදු විය හැකියි. මෙවැනි ලක්ෂණ තිබුනොත් රෝගී සුනඛයා වහාම අනෙක් සුනඛයන්ගෙන් වෙන් කර ඉක්මනින් පශුවෛද්‍ය උපදෙස් ලැබිය යුතුයි. නැතහොත් මෙය මාරාන්තික විය හැකියි. Parvo රෝගය ගැන වැඩිදුර විස්තර අවශ්‍ය නම් අපි පල කල ලිපිය මේ link එකෙන් බලන්න: Read more about Parvo

 

8. ආතතිය (stress):

මානසිකව විශාල ආතතියකින් පසුවන සුනඛයන්ට ද බඩ යාමේ තත්වයන් ඇති විය හැකියි. (මෙය සාමාන්‍යයෙන් ඇතැම් මිනිසුන්ට ද පොදු බව ඔබට මතක ඇති. රැකියා සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වීමට යන විට, වේදිකාවක කතාවක් පැවැත්වීමට යන විට ආදී අවස්ථා වලදී ඇතැම් මිනිසුන්ට උදරාබාධ ඇති වන්නා සේම සුනඛයන්ට ද මානසික තත්වය මත උදරාබාධ ඇති විය හැකි බව අද වන විට සොයාගෙන තිබෙනවා.)
සාමාන්‍යයෙන් බහුලවම ස්වාමියා පමණට වඩා සැර වැඩි කෙනෙක් නම් ඒ හේතුවෙන් ඇති වන මානසික ආතතිය, නිසි ලෙස ආහාර නොලැබෙන විට ඇතිවන ආතතිය, දවස පුරාම බැඳ දමා කිසිදු ව්‍යායාමයක් නොමැතිව සිටින විට ඇතිවන ආතතිය ආදිය මෙයට හේතු විය හැකි අවස්ථා සඳහා උදාහරණ ලෙස ඉදිරිපත් කල හැකියි.
එසේම අලුත් නිවසකට සුනඛයා රැගෙන ගිය විට ද මානසික ආතතිය ඇති වී මෙම ලක්ෂණ පෙන්නුම් කල හැකියි.
නිවසට අලුතින් සුනඛයෙක් රැගෙන ආ විට නිවසේ කලින් සිටි සුනඛයෙක් ට වුවද යම් ආතතියක් ඇති වී තාවකාලික උදරාබාධ ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථා ද තිබේ. ඒ ගැන සැලකිලිමත් වන්න. ආතතිය නැති කිරීමට කටයුතු කිරීමෙන් බොහෝ විට මෙම ගැටළු මගහැරේ.

9.මලපහ කිරීමේ අවශ්‍යතාව වැඩි වෙලාවක් රඳවාගෙන සිටීමෙන්:

මෙය බොහෝ දෙනෙක් නොසලකාහරින අවස්තාවක්. නමුත් විශේෂඥයන් විසින් පෙන්වා දෙන අන්දමට, දීර්ඝ වෙලාවක් මලපහ කිරීමේ අවශ්‍යතාව හිර කරගෙන සිටීමට සුනඛයාට සිදු වුවහොත් නොදැනුවත්වම බඩ යාමක් බවට එය පත් විය හැකියි. බොහෝ විට වාහනයක දීර්ඝ ගමනක් යාමට සුනඛයාට සිදු වූ අවස්තාවක හෝ නිවසේ තනිකර දමා දීර්ඝ කාලයක් තැබූ විට මෙය බලපෑ හැකි බවයි පැවසෙන්නේ. (ඇතැම් විට මේ හේතුව බඩ යාම ඇති වීමට හෝ ඒ වෙනුවට මලබද්ධය ඇති වීමට වුවද හේතු විය හැකියි.)

10. ගර්භනී සමයේ හෝ Heat එක පවතින සමයේදී:

ඇතැම් සුනඛයන්ට තම ශරීරයේ හෝමෝනමය වෙනස්වීමක් සිදු වන කාල වලදී සුළු වශයෙන් බඩ යාමේ තත්වයන් ඇති විය හැකි බව වාර්තා වෙනවා. මෙසේ හෝමෝනමය වෙනස්කම් සිදු වන බහුලම අවස්ථා වන්නේ ගැහැණු සතුන්ගේ heat එක ඇතිවන කාලය හෝ ගර්භනී සමයයි. එබැවින් ඒ ගැන අවධානයෙන් සිටීම වැදගත්. බොහෝ විට මෙවැනි තත්වයන් තාවකාලික බවයි දැකගන්න ලැබෙන්නේ.

 

සුනඛයන්ට බඩ යාමේ තත්වයන් ඇති වීමට හේතු පිලිබඳ හොඳ අවබෝධයක් මේ ලිපියෙන් ඔබට දැනගන්න ලැබෙන්න ඇති. දැන් අපි බලමු,සුනඛයාට බඩේ අමාරුවක් තිබුනොත් ඔබ විසින් කල යුතු දේවල්.
 

සුළු උදරාබාධයකදී එකවරම කලබල විය යුතු නැහැ. බොහෝ විට එවැනි අවස්තාවකදී ඊළඟ ආහාර වේල ලබා නොදී සිටීමට කටයුතු කරන්න. එමගින් ආමාශයට යථා තත්වයට පත් වීමට කාලයක් ලබා දෙන්න.

දිගින් දිගටම බඩ යාම පවතින්නේ දැයි විමසිල්ලෙන් සිටින්න.

මලපහ කර ඇති ස්ථාන ඉතා හොඳින් පිරිසිදු කරන්න. නිවසේ සිටින වෙනත් සුනඛයන්ට එම ස්ථානයට යන්න ඉඩ දෙන්න එපා.

පැය 24 ට වඩා කාලයක් බඩ යාම පවතී නම් විශේෂයෙන් සැලකිලිමත් වීම සුදුසුයි. මෙහිදී නිවසේ අත්බෙහෙත් ලබා දෙනවාට වඩා, සුදුසුකම් ලත් පශුවෛද්‍යවරයෙකු ගේ උපදෙස් මත නිවැරදි රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම වඩාත් සුදුසුය.

සාමාන්‍යයෙන් අත්බෙහෙත් කිරීමට ගියහොත් මෙය වඩාත් බරපතල parvo හෝ Amebiasis වැනි තත්වයක් නම් නිසි ප්‍රතිකාර ලැබීමට ප්‍රමාද විය හැකියි.

බඩ යාම සමඟම සතා බෙහෙවින් දුර්වල බව, සහ වමනය වැනි ලක්ෂණ ද පෙන්නුම් කරයි නම් ප්‍රමාද නොවී ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. විශේෂයෙන් කුඩා පැටවෙකු නම් වැඩි අවධානයක් යොමු කරන්න.

සුනඛයා විජලනය වීමට ඉඩ නොදිය යුතුයි. ප්‍රමාණවත් තරම් ජලය සහ ජීවනී වැනි ද්‍රාවන ලබා දීම සුදුසුයි

විශේෂ ස්තූතිය petlanka ♥
Imani Gamage  උපුටාගැනීමකි..


Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment