සුරතලුන්ගේ කුෂ්ඨ රෝග




ලස්සන හමක් තියන සුරතලෙක් කියන්නේ කොච්චර ආකර්ෂණීයද. හම කියන්නේ අපේ වගේම සතුන්ගෙත් විශාලතම ඉන්ද්‍රිය. හම අභ්‍යන්තර ඉන්ද්‍රීයන් ආරක්ශා කරන්න ආරක්ශක වලල්ලක් ලෙස ක්‍රියා කරන හරිම සංවේදී ඉන්ද්‍රියක්. මේ සංවේදිකම නිසා විවිධ හේතු සාධක හේතුවෙන් සම ඉක්මණින් ලෙඩ වෙන්න පුලුවන්. කුෂ්ඨ කියන්නේ බල්ලන් අතර සුලභතම සමේ රෝගයක්. විශේෂයෙන්ම වීදී සුනඛයන් අතර ඉතාම බහුලයි. රෝගය කොතරම් බහුල උනත් සමාජයේ ඒ ගැන තියන අවබෝධය නම් හරිම කණගාටුදායකයි.

සතෙක්ගේ කුෂ්ඨ/rash කියලා අපි සැක කරන්න පටන් ගන්නේ, ඒම නැත්තන් දැන ගන්නේ,

1. අධිකව ලෝම යාම

2. කැසීම

3. සම මතුපිට බිබිලි පැමිණීම

4. සමේ තුවාල ඇතිවීම

5. සම ඝණ වීම හා සම කලු වීම

6. සමේ රතු පැහැ ලප පැමිණීම

7. සමෙන් දුගඳක් පැමීණීම

8. සම ගැලවී යාම

වගේ ලක්ෂණ වලින්. ඊට අමතරව දීර්ඝකාලීනව මේ සමේ ඇතිවන කුෂ්ඨ වලින් පීඩා විඳීම නිසා ආහාර ගැනීම අඩු වීම වගේම ප්‍රතිශක්තිය අඩුවීම නිසා වෙනත් රෝග වලට පහසුවෙන් ගොදුරු වීමත් දක්නට ලැබෙන්න පුලුවන්. 

සතුන්ගේ කුෂ්ඨ/rash හදන රෝගකාරක හෝ හේතු සාධක නම් බොහොමයි. සමහර කරුණු හරිම සංකීර්ණයි. 

1. සමේ ආසාදන / skin infections
        - බැක්ටීරියා ආසාදන
        - දිලීර ආසාදන 

2. ආසාත්මිකතා/ allergies 
        -  ආහාර හා සම්බන්ධ ආසාත්මිකතා (food allergy/sensitivity/ food intolerance)
        -  බලු මැක්කන් නිසා ඇතිවන ආසාත්මිකතා (flea bite allergy)
        - පරිසරයේ පවතින දූවිලි, රසායන ද්‍රව්‍ය, සේදුම්කාරක, පිරිසිදුකාරක හෝ ඕනෑම ද්‍රව්‍යයකට ඇතිවන ආසාත්මිකතා

3. පරපෝශීන්
    - සාකොප්ටික් මයිටාව (sacoptic mange)
    - ඩෙමොඩෙක්ස් මයිටාවා (demodex mite)
    - ඇවිදින හිස්සොරි (walking dandroff/ cheyletiella mites)

4. හෝමෝන අසමතුලිතා
    - තයිරොසින් හෝමෝනය අඩු වීම (hypothyrodism)
    - ඇඩ්‍රෙනල් ග්‍රන්ථියේ අධික්‍රියාකාරීත්වය ( hyperadrenocorticism/ cushing syndrome)
     - ලිංගික හෝමෝනවල අසමතුලිතතාවය

5. ජානමය හේතු සාධක

වගේ කරුණු අපිට සරළව පෙල ගස්වන්න පුලුවන්. එතකොට මේ සමේ කුෂ්ඨ රෝග ඇතිවෙන්න උදව්වෙන තව දේවලුත් තියනවා. ඒවට උදාහරණ කිහිපයක් තමා පහත දැක්වෙන්නේ.

1. නිසි පෝශදායී ආහාර හා සතුන්ට ගැලපෙන ආහාර නොලැබීම,

2. නැහැවීමට සමට නොගැලපෙන සබන් හෝ ශැම්පූ භාවිතය

3. නැහැවූ සතුන් නිසි ලෙස වියලන් නැතිව තැබීම

4. නිරන්තරයෙන් සතුන් නැහැවීම

5. සතුන්ට ආසාත්මික වන පිරිසිදුකාරක ඔවුන්ගේ කූඩූ සේදීමට හෝ නිවෙස් පිරිසිදු කිරීමට යොදාගැනීම 

6. සත්ව වර්ගයට නොගැලපෙන පරිසර උෂ්ණත්වය

7. මානසික පීඩනය (stress factors)

8. සමේ බෝවන කුෂ්ඨ රෝග ඇති සතුන් සමඟ එකට වාසය

9. නිසි ලෙස භාහිර පරපෝශීන් වන කිනිතුල්ලන් මැක්කන් පාලනය නොකිරීම

10. දීර්ඝකාලීනව ලබාදෙන සමහර ඖෂධ වර්ග

ඉතින් මෙතනදී තමයි පශූවෛද්‍යවරයෙක්ගෙ කාර්යභාරය පටන් ගන්නෙ, නිවැරදි දැනුම යටතේ රෝග තත්වයට නිවැරදි ප්‍රතිකාර ඉක්මණින් අවශ්‍ය වෙනවා. සමහර විට මෙහිදී සමේ නියැදි පරීශාකිරීමට හෝ රුධිර සාම්පල පරීශාවට සිදු වෙන්න පුලුවන්. රෝග නිධානය අනුව බෙහෙත් විදින්න, බොන්න දෙන්න, ආලේප කරන්න, නහවන්න දෙන්න පුලුවන්. ආයේ දෙවනවර පරීශාවකට හෝ බෙහෙත් විදින්න ගේන්න කියන්නත් පුලුවන්.

මෙහිදී ඔබ විශේෂයෙන්ම සැලකිල්ලට ගන්න ඕනී කරුණ නම් කුෂ්ඨ රෝග එක රැයෙන් හොඳ වෙන රෝග නෙවේ. ඒ සඳහා රෝග කාරකයා මර්ධනය කරන්න ගත වෙන කාලේ වගේම ස්භාවිකව ලෝම වර්ධනයට කාලය ගත වෙනවා. එතකොට ඉවසීම වගේම වෛද්‍ය උපදෙස් පරිදි නිවැරදි අයුරින් ප්‍රතිකරම දිගටම සිදු කරන්න වෙනවා. ඉන්ජෙක්ශන් වලින් විතරක් හොදකරන්න හෝ බෙහෙත් පෙතිවලින් විතරක් කුෂ්ඨ හොඳ කරන්න ගොඩක් වෙලාවට අමාරුයි. ඒක හොදින් අවධාරණය කරගන්න. 

ඒ එක්කම #සමහර කුෂ්ඨ රෝග තියනවා සතුන්ගෙන් ඔබට බෝවෙන්න පුලුවන්. එවැනි අවස්ථාවල සතුන්ට ප්‍රතිකාර කිරීමේදී ඔබේ පරිස්සම ගැනත් සැලකිලිමත්වීම හරිම වැඳගත්.

රෝග වලින් ආරක්ශා කරගැනීම ප්‍රතිකර්ම කිරීමට වඩා පහසු නිසා,
1. පෝශදායී සමබල සතුන්ට ගැලපෙන ආහාර ලබා දෙන්න

2. සතියකට වරක් හිරු එලිය වැටෙන දවසක නාවන්න

3. නාවා හොදින් පියදමන්න

4. නැහැවීමට සතුන්ගේ සමට සුදුසු ශැම්පු හෝ සබන් භාවිතා කරන්න. රෙදි සෝදන් සබන් හෝ අප භාවිතා කරන සුවඳ සබන් හෝ ශැම්පු ඔවුන්ට ගැලපෙනේ නෑ. ඒ නිසා ඔබේ පශුවෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.

5. මැක්කන් කිනිතුල්ලන් පාලනය කරන්න

6. සතුන්ට ගැලපෙන, සතුන්ට ආසාත්මික නොවන පිරිසිදුකාරක නිවස පිරිසිදු කිරීමට හා සතුන්ගේ කූඩු පිරිසිදුකිරීමට යොදාගන්න.

7. ඔබ ජීවත්වන පරිසරයට ගැලපෙන සතුන් සුරතලයට ඇති කරන්න. (සීතල පරිසර හුරු සතුනට අපේ රටේ සමහර පලාත්වල උෂ්ණත්වය දරාගන්න අමාරුයි.)

8. සතුන් පීඩනයට පත්වෙන කරුණු ගැන අවධානය යොමු කර ඉන් සතුන් මුදවාගන්න කටයුතු කරන්න. 

9. සමේ නිරෝගී පැවැත්මට උදව්වෙන පෝශක අතිරේක හැකිනම් ලබාදෙන්න

වගේ කරුණු ගැන අවධානය යොමු කිරීම ඉතාම වැඳගත් වෙනවා. 

සතුන්ගේ කුෂ්ඨ රෝග කියන්නේ ඔබට මට වැළඳෙන රෝග වගේම රෝගයක්. එම රෝග සුවකරගන්න වෛද්‍ය ප්‍රතිකාර විවිධයි. ඉතින් එහා ගෙදර බල්ලට හරියන බෙහෙත් ඔබේ බල්ලට හරි නොයන්න පුලුවන්. සමාජ මාද්‍ය ඔස්සේ ප්‍රතිකාර හොයන් යන්න එපා, ෆොටෝ දැක්කට පශුවෛද්‍යවරුන්ටත් රෝග නිධානය ගැන එක පාරට හිතාගන්න අමාරුයි, ඉතින් හරි ප්‍රතිකර්ම කියන්න බෑ. කෝකටත් තෛලේ වගේ ප්‍රතිකාර නැහැ. ප්‍රාතිහාර වගේ එක බෙහෙත් වේලකින් හොඳ වෙන්නෙත් නෑ.

පින් සිද්ද වෙනවා කියලා පාරේ ඉන්න කුෂ්ඨ තියන් බල්ලන්ට රුපියල් 15/= කියන පෙති යෝගට්වල දාලා දෙන්න එපා. හොරෙන් ෆාමසිවලින් විකුනන බෙහෙත් බර නොසලකා හිතුමතේ විදින්නත් එපා. ඒවා සතුන් විඳවලා මැරෙන්න හේතුවක් වෙන්න පුලුවන්.  එහෙම විඳවලා මැරුණ ඒවා ගැන සමාජ මාද්‍ය වල කවුරුවක්වත් පලකරන්නේ නෑ. ඒ වගේම කලු තෙල්,භූමිතෙල්, මිරිස් කුෂ්ඨ හොදවෙන්න කියලා ඇඟේ ගන්න එපා. එයිනුත් ඔවුන් හොඳටම වේදනාවට පත්වෙනවා. 

ඉතින් සතෙක් ලෙඩ උනාම ඉක්මණින් ඔබේ පශුවෛද්‍යවරයා මුන ගැහෙන්න. ඉක්මණින් ප්‍රතිකාර වලට යොමුවෙනවා කියන්නේ ඉක්මනින් රෝගය සුව කරගන්න හැකි වෙනවා කියන එක. නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න වෙනකන් ප්‍රමාද වෙන්න එපා. 

විශේෂ ස්තූතිය 🙏🙏
පශුවෛද්‍ය චමරි කෞශල්‍යා මැදගොඩ

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment