☠️ ජලභීතිකාව මාරාන්තිකයි! ☠️

ඔබ කොතෙක් ඔය වදන් පෙල අසා ඇතිද. කොතෙකුත් අය එය විස්තරාත්මකව පහදා ඇතිද. ජලභීතිකා මර්ධන වැඩසටහන් කොතෙක් නම් ක්‍රියාත්මක කරනවාද. ඒත් බහුතර සමාජයට ජලභීතිකාව ගැන නිසි අවබෝධයක් තියනවද. ඔව් ඒවා ලොකු ප්‍රශ්න. ලිපිය නොසෑහෙන්න දිගයි, හෙමීට කියවන්න ගන්න.


ජලභීතිකාව කියන්නේ ක්ශීරපායී සතුන්ට( කුරුල්ලන්, මාලු, උරගයන් හා උභය්ජීවීන් හැර) වැළඳෙන, සතෙක්ගෙන් තවත් සතෙක්ට/ සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන මාරාන්තික වෛරස් රෝගයක්. එය පහර දෙන්නේ ස්නායු පද්ධතියට. සපා කෑමකදී/සීරීමකදී ආසාධිත සතෙකුගේ කේඨය එක්ක මේ වෛරසය මිනිසුන්ට හෝ තවත් සතෙකුට ශරීරගතවෙන්න පුලුවන්. ඉතාම විරළ අවස්තාවක් විදියට අසාධිත සතෙකුගේ කේඨය සමේ කැපුම් ස්ථානයක ගැටුනොත් එසේ නැතිනම් ඇස, නාසය හා මුඛය යන ස්ථාන වල ගැටුනොත් ඒත් රෝගය සම්ප්‍රේෂණය වෙන්න පුලුවන්. 

ජලභීතිකා වෛරසය ශරීරගත උනාම ස්නායු හරහා මොළයට ගමන් කරනවා. සපාකෑමේ බරපතලකම, සපාකෑම සිදුවූ තැනේ සිට මොළයට වෛරසය ගමන් කිරීමට ගතවන කාලය, ශරීරගතවූ වෛරස් ප්‍රමාණය හා වෛරසයට එරෙහිව පවතින ප්‍රතිශක්තිය මත රෝග ලක්ෂණ  පෙන්වීමට සති කිහිපයක සිට මාස ගණනක් දක්වා කාලයක් ගතවෙන්න පුලුවන්. රෝග ලක්ෂණ පෙන්වූ පසු ජලභීතිකාව කියන්නෙ මාරාන්තික රෝගයක්. 

ජලභීතිකා සතෙක්ට වැළදුනාම එය ආකාර දෙකකට පිටතට පෙන්නවා. බල්ලෙක් නම් අධික ලෙස සැර වෙනවා, හපන්න පන්නගෙන එනවා, බුරනකොට කටහඩ වෙනස් වෙනවා.  සමහරු ඉතාම අලස ලෙස ඔහේ පැත්තකට වෙලා ඉන්න බලනවා. ඉතින් සතෙකුගේ අසාමාන්‍ය හැසිරීම් මගින් අපට එය හදුනාගන්න පුලුවන්. ඊට අමතරව ගිලීමේ අපහසුතාවය, කට දෙපසින් කෙල වැගිරීම, හිරු එලියට බය වීම, අපස්මාරය හා අංශභාගය වගේ ලක්ෂණ දක්නට ලැබෙනවා. 

ක්ශීරපායින්ට වැළදෙන රෝගයක් විදියට අපි ජලභීහිකාව හැදින්නුවට අපිට රෝග පාලනයට හා රෝගය පැතිරිම වලක්වාගැනීමට දැන හැදින ගැනීමට අවශ්‍ය වෙන්නේ සංචිතයක් විදියට ක්‍රියාකරන සත්ව විශේෂ කිහිපය විතරයි. බල්ලන් හා බළලුන් කියන්නේ ශ්‍රී ලංකාවේ ජලභීතිකා මර්ධනයට ඉතාම වැදගත් සත්ව කොට්ඨාශ දෙකක්. ඊට අමතරව නරියන්, වව්ලන්, වඳුරන්, මීයන් , දඬු ලේනුන් හා මුගටියන් හදුනාගන්න පුලුවන්. 

වසරකට ශ්‍රී ලංකාවේ ජලභීතිකාවෙන් මරණයට පත්වෙන මිනිසුන් ප්‍රමාණය ආසන්නව 20 පමණ වෙන අතර ඉන් 99%ම බල්ලන් සපාකෑම් නිසා සිදුවූවන්. එතකොට ජලභීතිකවෙන් මරණයට පත්වන සතුන් ගණන අප්‍රමාණයි. නමුත් ජලභීතිකාව කියන්නේ එන්නත්කරණය මගින් 100%ක් නවත්වාගන්න පුලුවන් රෝගයක්. ඊට අවශ්‍යවෙන්නේ ඔබේ අවධානය, වගකීම හා වගවීම විතරයි. බල්ලන්, බළලුන්, ferrets( මුගටි විශේශයක්), අශ්වයන්, ගවයන් හා බැටලුවන් සදහා ජලභීතිකා එන්නත්කරණය සිදු කරන්න පුලුවන්.

1. බල්ලන් හා බළලුන් ඇතිකරන්නේ නම් නිවැරදි ලෙස පශුවෛද්‍ය උපදෙස් ලබාගෙන නිසි කලට වේලාවට ජලභීතිකා එන්නත් ලබාදෙන්න.

2. අයාලේ යන බල්ලන් හා බළලුන් නිවසේ සුරතලයට ඇතිකරන්නට පෙර හමුවූ වහාම ජලභීතිකා එන්නත ලබාදී නිවසට රැගෙන යන්න.

3. අයාලේ යන සතුන්/ වන ජීවීන් සියල්ලම ජලභීතිකා ආසාධිතයන් නොවේ. සැර සතුන්, කටින් කෙල වැගිරෙන සතුන් සියල්ලම ජලභීතිකා රෝගීන් නොවේ. පශුවෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න.

4. නිවසේ සුරතලෙකුන් අයාලේ යන සතෙකු හෝ වනජීවියෙකු සපා කෑ විට පලමුවම එම ස්ථානය හොදින් සබන් යොදා ගලායන ජලයෙන් හෝදන්න.  ඉන්පසු තුවාලයට බෙහෙත් දමන්න. 

5. නිවසේ ඇති දැඩි කරන නිසි ආකාරව එන්නත්කරණය කල සුරතලෙක් සැක කටයුතු සතෙකුගේ සපාකෑමට ලක්වූයේ නම් ජලභීතිකා එන්නතක් වහාම ලබාදිය යුතුයි. ඔබේ පශුවෛද්‍යවරයා මුණගැසෙන්න.

6. යම් හෙයකින් නිවසේ ඇති දැඩි කරන සුරතලා නිසි අයුරින් එන්නත්කරණය සිදුකර නොමැතිනම් සැක කටයුතු සතෙක් සපා කෑවිට යම් කාල සීමාවක් ඔවුන්ව හොදින් නිරීක්ෂණය කර ඉන් පසු ජලභීතිකා  එන්නත ලබා දිය යුතුයි. වැඩි විස්තර සදහා ඔබේ පශුවෛද්‍යවරයා හමුවන්න.

7. අයාලේ යන බල්ලන් හා බළලුන් සමඟ ගනුදෙනු කරන විට ඉතාම පරිස්සමින් කටයුතු කරන්න. 

8. නිවසේ සුරතලුන් හා අයාලේ යන සතුන් අතර සම්බන්ධතා අවම කරන්න. ඒ සඳහා සතුන් කුඩා කලම වන්ද්‍යකරණය සිදුකරන්න. විශේෂයෙන්ම පිරිමි සතුන් වන්ද්‍යකරණය ඒ සඳහා ඉතාම වැදගත්. 

9. නිවසේ සුරතලුන් හා වනජීවීන් අතර සිදුවන සබඳතා හැකිතාක් අවම කරන්න. 
ගොවිපල සතුන් හා වනජීවීන් අතර සබඳතාවයද, ගොවිපල සතුන් හා අයාලේ යන බල්ලන්ගේ ඇති සබඳතා හැකිතාක් අවම කරන්න. 

10. වනජීවීන් හා ඔබේ සබඳතා හැකිතාක් අවම කරන්න. වනජීවීන් යනු සුරතලුන් නොවන බව මතකයට ගන්න. කෑම දීමට හා අතපත ගෑමට යාමෙන් වලකින්න.

11. සතුන් සමඟ ඔබේ දරුවා ගනුදෙනු කරන විට ඒ සඳහා ඔබේ දැඩි අවදානය යොමු කරන්න. ලෝක ජලභීතිකා මරණ වලින් 40% වසර 15ට අඩු දරුවන් බව අවධාරණය කරගන්න.

12. සතුන්ගේ දත් පහරවල් ඇති හෝ අඩක් කෑමට ගත් ගස් යට වැටී ඇති පළතුරු ආහාරයට ගැනීමෙන් වලකින්න. ඔබේ සුරතලුන්ටද ආහාරයට ගැනීමට ඉඩ නොදෙන්න.

13. ඔබව සතෙකු සපාකෑවිට එම ස්ථානය හොදින් සබන් ගා ගලායන ජලයෙන් මිනිත්තු කිහිපයක් සෝදන්න.

14. නිවෙසක සුරතලෙක් සපා කෑවිට නම් එම සුරතලාගේ එන්නත්කරණය පොතත් සමඟ ළගම රෝහලේ වෛද්‍යවරයා හමුවන්න. වෛද්‍ය උපදෙස් පිළිපදින්න. 

15. වනජීවියෙක් හෝ අයාලේ යන සතෙකු සපා කෑවිට වහාම වෛද්‍යවරයා මුණ ගැසෙන්න. අදාල එන්නත් නිවැරදිව නිසි කලට වේලාවට ලබාගන්න. 

ඉතින් ජලභීතිකාව මාරාන්තිකයි. එයින් ඔබ හා ඔබේ පවුලේ අයවලුන් ආරක්ශා කරගැනීම ඔබේ වගකීමක්. වගකීම හොදින් අවබෝධ කරගන්න.  ඒ වගේම රජයේ ජලභීතිකා මර්ධන වැඩසටහන් හා සුනඛ වන්ද්‍යකරණය වැඩසටහන් වලට සක්‍රීයව සහය වෙන්න. වගකීම්සගත පුරවැසියෙකු වන්න. 2030 දී ජලභීතිකාවෙන් තොර ලොවක් ගොඩනැගීමට හැකි උපරිමයෙන් දායක වෙන්න. 

විශේෂ ස්තූතිය
පශුවෛද්‍ය චමරි කෞශල්‍යා මැදගොඩ🙏🙏

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment